මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය සමග සම්බන්ධතා පැවැත්වූ පොලිසියේ උසස් නිලධාරියකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම විමර්ශන කටයුතු පවතින හෙයින් එම පොලිස් ලොක්කට පිටතට නොදැනෙන්නට ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මීට පෙරද චෝදනා රැසක් මෙම නිලධාරියාට එල්ලවී ඇති අයකු බවට කරුණු අනාවරණය වී ඇත. උතුරු පළාතේ සේවය කරන අවධියේ බොරු බිල්පත් සකසා මුදල් ලබා ගැනීම, කළුතර ප්‍රදේශයේ සේවය කරන අවධියේ ඉදිකිරීම් සම්බන්ධව ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර මුදල් ලබා ගැනීම වැනි චෝදනා රැසක් එල්ල වී ඇති බවට පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
$ads={2}
මෑතකදී මෙම නිලධාරියාට එල්ල වූ චෝදනාව නම් නුවරඑළිය ප්‍රදේශයේ පොලිස් නිවාඩු නිකේතනයකදී ඌරු මස් ව්‍යාංජනයක් ඇණවුම් කර එය මදි වූ නිසා එයට කිපී එහි සේවය කරන පොලිස් නිලධාරියකුට පහර දීමය. කාන්තා ඇසුර, අයථා ලෙස මුදල් ඉපැයීම සම්බන්ධයෙන් මෙම නිලධාරියා පොලිස් නිලධාරීන් අතර ප්‍රසිද්ධ චරිතයක් වී ඇති බවටද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිසිය තුළ අවංකව දක්ෂ ලෙස රාජකාරි කිරීමට ඇති නිලධාරීන් කෙතරම් සිටියද දූෂිත නිලධාරීන් ඉහළින් වැජඹෙන බව පොලිස් පොඩ්ඩෝ පවසන්නේ සංවේගයෙනි. පොලිස් පොඩ්ඩකු අතින් මෙවැනි සිදුවීමක් සිදුවුණා නම් ඔහු අනිවාර්යය නිවාඩු යවා හෝ වැඩ තහනමට ලක්කර විමර්ශන ආරම්භ කරන මුත් පොලිසියේ උසස් නිලධාරීන්ට වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට පොලිස් පොඩ්ඩන් චෝදනා කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීම බරපතළ චෝදනාවක් වන අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් මර්දනයක් සිදු කරන තෙක් පොලිස් පොඩ්ඩෝ අවදියෙන් සිටිති.