මිතුරාගේ නැඟණිය උස්සන්න හැදූ කෝටිපතියා කැති පහරින් මරුට

කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයා සිය මිතුරාගේ නැඟණිය බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේ එල්ල කළ කැති ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්වී ඇත. ප්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලිස්ථානයට බාරවීමෙන් පසුව (10දා) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වී ඇත්තේ සිය පෙම්වතියට උපන් දිනය පැවති දිනයේ රුපියල් කෝටි දෙකක බෙන්ස් වර්ගයේ අධි සුඛෝපභෝගි මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පසුගිය සමයේ ප්‍රසිද්ධියට පත්වූ හැව්ලොක් පාර නාවින්න හා නවම් මාවත කොළඹ ලිපිනයේ පිහිටි ප්‍රසිද්ධ කාන්තා හා පිරිමි සැලුන් ආයතන දෙකක් පවත්වා ගෙන ගිය මල්ලවආරච්චිගේ පැතුම් (38) නැමත්තායි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා (10දා) සවස ඇලයාපත්තුව ගල්පොත්තේගම වෙහෙරගල විහාරස්ථානය හා ගල්පොත්තේගම වැවේ වාන ආසන්නයේ දරුණු කැති ප්‍රහාරයට ලක්වී බරපතළ තුවාල ලබා ඇලයාපත්තුව රජයේ රෝහලට රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබුණි.

$ads={2}

ඔහු කුඩා කල වසර ගණනාවක් ඇලයාපත්තුව ගල්කඩවල ගල්පොත්තේගම ප්‍රදේශයේ පිහිටි ඝාතනය සිදුකළ සැකකරුගේ නිවසේ හැදී වැඩී ඇති බවත් ඔහු දෙමාපියන්ගේ හව්හරනක් නොමැතිව ජීවත්වී පසුව ස්ව උත්සාහයෙන් කෝටිපතියකු වී ඇති බව පොලිසිය පවසයි.

වසර ගණනාවකට පෙර කොළඹ ප්‍රදේශයට ගොස් ඇති ඔහු ටික කලකදි දිවයිනේ ප්‍රසිද්ධ පුද්ගලයන් ආකර්ශනය කරගන්නා ආකාරයට සැලුන් ආයතන පවත්වා ගෙන යාම නිසා කෝටිපතියෙකු බවට පත්වී ඇති බව අනාවරණය විය.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරික තරුණයා මීට සති කිහිපයකට ඉහතදි අදාළ ඝාතකයාගේ නැඟණිය රැකියාවක් සඳහා කොළඹට රැගෙන ගොස් ඇති අතර ඇය කරදර අධික බව කියමින් නැවත නිවසට පැමිණ තිබේ.

එසේ පැමිණි තරුණියව බලහත්කාරයෙන් කැටුව යාම සඳහා ව්‍යාපාරිකයා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග නිවසට පැමිණ ඇය රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේ ඊට ප්‍රකෝප වූ සහෝදරයා කැත්තෙන් කොටා ව්‍යාපාරිකයාට බරපතළ තුවාල සිදුකර තිබුණි.

කැති ප්‍රහාරයට ලක්වූ තරුණයා නිවස ඉදිරිපිට පිහිටි වැට මතට ඇදවැටී ඇති අතර ඔහු සමග පැමිණි මිතුරන් ඔහු රැගෙන පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

‘‘මීට සති කිහිපයකට ඉස්සෙල්ලා පැතුම් ඇවිල්ලා මගේ දුවට රස්සාවක් දෙන්න කියලා කොළඹ එක්කගෙන ගියා. ඊට පස්සේ දුව ටික දවසකින් කිව්වා අම්මේ මෙහෙ හරිම කරදරයි මම පැනලා එනවා කියලා. එහෙම කියපු දුව නිවසට ආවා. පැතුම් (10දා) සවස් කාලයේ අපේ නිවසට ආවා. දුවව බලහත්කාරයෙන් රැගෙන යන්න උත්සහ කළා. දුව නිවසේ කාමරයකට වෙලා දොර අගුළු දාගෙන හිටියේ. ඇය කාමරයේ ඉඳන් කෑගහද්දී අයියා ආවා. ඒ අවස්ථාවේ මගේ පුතා හා ඔහු අතර බහින් බස්වීමක් සිද්ධ වුණා. පස්සේ තමයි මේ සිද්ධිය වුණේ’’ යැයි සැකකරුගේ මව කීවාය.

ස්ථානීය පරීක්ෂණයට පැමිණි විනිසුරුවරයා මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කරන ලෙස ඇලයාපත්තුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස්මත කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේගේ මෙහෙයවීම මත ඇලයාපත්තුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

කෝටිපතියා හැදී වැඩී ඇත්තේත් සැකකරුගේ නිවසේමයි

Post a Comment (0)
Previous Post Next Post