ඉන්දියාවට පලාගොස් සැඟවී සිටියදී මිය ගිය අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බව කියන ලඩියා හෙවත් චානුක තනනායක නමැත්තා පසුගිය දා ඉන්දියාවේ බෙන්ගලූරුහිදී අත්අඩංගුවට පත්ව තිබේ.
38 හැවිරිදි අතුරුගිරියේ ලඩියා ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙකු බව පොලිසිය පවසයි.
ලඩියාට නවාතැන් දීමේ වරදට 46 හැවිරිදි ජයපාල් හෙවත් ටී. ගෝපාලක්‍රිෂ්ණන් නමැත්තෙකු ද ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
2020 වසරේ ජූලි 3 වන දා අංගොඩ ලොක්කාගේ මරණයෙන් පසු ලඩියා ආගිය අතක් සොයා ගැනීමට ඉන්දීය පොලිසිය අසමත් වී තිබිණි.
$ads={2}
අංගොඩ ලොක්කාට රැකවරණ සැලසීම හේතුවෙන් අත්අඩංගුවට ගත් නීතිඥ සිවකාමි සුන්දරී, ඇයගේ හිතවතෙකු වූ දයනේස්වරන් සහ අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ වූ අමානි දාන්ජි යන අයගේ ප්‍රකාශ අනුව අංගොඩ ලොක්කා සතුව තිබූ ගිනි අවිය රැගෙන ගොස් තිබුණේ, ලඩියා ය.
මේ අනුව, ලඩියා අල්ලා ගැනීමේ වගකීම ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයට භාර කෙරිණි.
මේ අතරතුර ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයේ කොයිම්බතූර් නියෝජ්‍ය පොලිස් අධිකාරී පී. සිවකුමාර් වෙත ලඩියා සිටින ස්ථානය පිළිබඳ ඔත්තුවක් ලැබී තිබිණි.
එම ඔත්තුවට අනුව නොවැම්බර් 6 වන දා පොලිස් කණ්ඩායමක් බෙන්ගලූරු වෙත පිටත් වී තිබේ. රහස් පොලිසියේ සහ කර්ණාටක පොලිසියේ තාක්ෂණික අංශවල සහය ඇතිව ලඩියා බනස්වාඩි ප්‍රදේශයේ සිටින බවට තහවුරු කර ගැනිණි.
ඒ අනුව, ඉන්දීය පොලිස් නිලධාරීන් පිරිසක් බනස්වාඩි ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් ලඩියා අල්ලා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. එම මෙහෙයුම අතරවාරයේ ලඩියාගේ ඡායාරූපයක් හඳුනාගත් ගෘහ සේවකයෙකු ඔහු අල්ලා ගැනීමට සහය දී ඇත. ඔහු දුන් තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වූ ඉන්දීය රහස් පොලිසිය බනස්වාඩිහි මහල් නිවාසයකදී ලඩියා අල්ලා ගැනීමට සමත් වී තිබේ.
එම නිවස ඉහත කී ජයපාල් හෙවත් ගෝපාලක්‍රිෂ්ණන්ගේ සොහොයුරියට අයත් නිවසක් බව අනාවරණය විය. ඒ අනුව ජයපාල් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.