තාප්පවල චිත‍්‍ර ඇදි තරුණයන් ජනපතිත් සොයයි.. යලි එන්නැයි කියයි…


තමන් බලයට පත්වූ දිනවල රට පුරා තාප්ප වල චිත්‍ර ඇඳි තරුණයන්ට, පුරන් කුඹුරු අස්වද්දමු තරුණයන්ට ඉදිරියට එන්නැයි තමන් ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

වැඩ නිම කළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

”අද ගොවි මහත්තුරු උද්ඝෝෂණ කරනවා. අපි බලයට එනකොට වී රුපියල් 25ට විකුණගන්න බැරුව හිටියේ. අපි රුපියල් 50ක සහතික මිලක් දීලත් අද 60ට 70ට 80ට විකුණනවා. කමක් නෑ ඒක යන්නේ ගොවියට.

69 ලක්ෂයක් මට ඡන්දෙ දුන්නේ මගේ මූණට නෙමෙයි. මගේ ප්‍රතිපත්තිවලට. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට දෙන්න අපි පොරොන්දු වුණා. වෙනස කරන එක අමාරුයි. ගොවියාට බලෙන් මේ කාබනික පොහොරවලට යන්න කියන්නේ නෑ. නමුත් මම කළේ හරි දේ.”

සමහරු කියනවා අපි බලාපොරොත්තු වුණේ මිලිටරි ක්‍රමයේ ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ.., මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපන් කියලා කියන්න. හැබැයි මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒකද බලාපොරොත්තු වෙන්නේ. නෑ. සමහරු කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තු වුණේ හමුදාවේ වගේ එක්කෙනෙක් කියලා. පුළුවන් මට ඕනේ නම් එහෙම කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. බොරු චෝදනා නිසා අදත් අපි රටක් හැටියට ජිනීවා යනවා. මානව හිමිකම්වලට. මට එහෙම කරන්න ඕනේ නෑ. අපේ රටට. නමුත් මම පොරොන්දු වෙච්ච ඒ විප්ලවීය වෙනස මම කරනවා.

අපිට තෙල් නෑ. ගල් අගුරු නෑ. ගෑස් නෑ. නමුත් අපිට තියෙනවා හිරු එළිය, වතුර, සුළඟ, මේ තුනෙන්ම අපිට විදුලිය ජනනය කරන්න පුළුවන්. ඒක කරන්න ගියාමත් විශාල විරෝධයක්. මේවා අමාරු දේවල්.

යහපාලනය යටතේ ජනාධිපති අගමැති යනකොට විශාල කාර් ප්‍රමාණයක් යනවා. මම ඒවා නැති කළා. අමෙරිකාවෙදි මගෙත් එක්ක වාහන 15ක් ආවා.

මම එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් හිටියේ සාමාන්‍ය හෝටලයක. මගේ භාර්යාව මගෙත් එක්ක ගියා. මම එයාගේ ටිකට් එකට සල්ලි ගෙව්වා.

මගේ ඥාතීන්වත් එක්කං ගියානම් ඒ අයත් සන්තෝෂයි. බැහැයි ඒ අයව එක්කං නොගියාම, අයියෝ අපේ මාමා ජනාධිපති වැඩක් නෑ. අපිට යන්නවත් නෑ. නමුත් ඒකයි වෙනස.”

මටත් රජ ගෙදරක් තියෙනවා. ඒක බොහොම විශාලයි. ඒකෙ ඉන්න අමාරුයි. වැඩක් නෑ. අපරාදෙ නිකං විදුලිය පිච්චෙනවා. මම ඉන්නේ හිටපු ගෙදරමයි. ඒකයි වෙනස.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දුන්නා. විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද ජයසිංහ, ස්ටාලින් ද කවුද කියන කෙනාත් ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට. හැබැයි උන්වහන්සේව කුලපති කළාම… සුදුසු නෑ. ඔක්කොම වැල පිටින් ගිහින් උපදෙස් ගත්තේ එතන

එක රටක් එක නීතියක් සංකල්පයක්. මේකට ඥානසාර හාමුදුරුවො පත් කළාම විවේචනය කරනවා. මම දන්නවා අවුරුදු 5ක් තිස්සේ එක රටක් එක නීතියක් ගැන සංකල්පය කතා කළේ උන්වහන්සේ. ඉතින් මං උන්වහන්සේට කතා කරලා කිව්වා මට මේ සංකල්පය හදලා දෙන්න කියලා. උන්වහන්සේ මට ඒක හදලා දුන්නාම මම ඒක අධිකරණ අමාත්‍යාංශයට දීලා අඩුපාඩු හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකනේ අවශ්‍යතාවය”

ලෝකයේ සෙසු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු විය. වැටී තිබූ ආර්ථිකයක් හමුවේ හඳුනා නොගත් වසංගතයක් සමග දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සැලසුම් රැසක් ක්‍රියාත්මක කෙරිණ. එහිදී තමා දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට නොහැකි විය. එහෙත් එහි කිසිඳු අඩුවක් නොතබා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටිණ. ඉන් අහිමි වූ ඝෘජු සහ වක්‍ර රැකියා සංඛ්‍යාව මිලියන 03කට ආසන්න වේ. එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට විදේශ රැකියා අවස්ථා අහිමි වූ අතර ඉහළම සිට පහළම ව්‍යාපාරිකයා දක්වා සියලුදෙනාගේ ආර්ථිකයට බාධා එල්ල විය. මේ සමග ඇති වූ දැවැන්ත ආර්ථික බිඳ වැටීම මත වුවද සංවර්ධන වැඩකටයුතු අඛණ්ඩව සිදු කළේය. සියලුම රාජ්‍ය සේවකයින්ට නියමිත දිනට වැටුප් ගෙවනු ලැබිණ. ඩොලර් මිලියන 04ක් වූ විදේශ ණය වාරික නියමිත පරිදි ගෙවීමට පියවර ගත්තේය. කොවිඩ් රෝගී පවුල් වෙනුවෙන් සහ නිරෝධායනයට ලක් වූ සියලුදෙනා වෙනුවෙන් ආධාර මුදල් සැපයීය. වීවලට සහතික මිලක් ලබාදීමට කටයුතු කෙරිණ. මේ සියල්ල සිදු කිරීමට වූයේ දැවැන්ත ආර්ථික අර්බුද හමුවේ බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.

කාබනික වගාව මෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසුනොබසින බවද ජනාධිපතිතුමා පැවසීය.

මුං, කව්පි, උදු, කහ ඇතුළු බෝග 16 ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කෙරිණ. අද එහි ප්‍රතිඵල ගොවීහු භූක්තිවිඳිමින් සිටිති. කුරුඳු, ගම්මිරිස්, කහ සඳහා ඉහළ මිලක් ගොවියාට ලැබෙමින් පවතී. ගොවියාගේ අතට ලැබෙන එම ආදායම අඩු නොකිරීමටත්, පාරිභෝගිකයාව ආරක්ෂා කිරිමටත් පියවර ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මෙම තත්ත්වය අවබෝධ කරගෙන හරිත කෘෂි අභියෝගය ජය ගැනීමට එක්වන්නැයි සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා ගොවීන්ට හෝ ජනතාවට බලපෑම් කර එම වෙනස සිදු කිරීමට තමා අපේක්ෂා නොකරන බව ද කීය.

තමා බලයට පත්වීමත් සමග තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳ වෙනසට මුලපිරිය. තවත් පිරිසක් පුරන් කුඹුරු අස්වැද්දූහ. එදා තැබූ විශ්වාසය සමග විප්ලවීය වෙනස වෙනුවෙන් යළි ඉදිරියට පැමිණෙන ලෙස ජනාධිපතිතුමා මේ සියලුදෙනාට ආරාධනා කළේය.

“සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. ඒ යටතේ වැඩ නිමකළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම සනිටුහන් කරමින් මීගස්ආර, කුඩාබුබුල, කපුවත්ත මාර්ගය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කළේය.

කොවිඩ් වසංගතය හමුවේ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ නවතා දැමුවේනම් අද මෙලෙස මාර්ග 1500ක් විවෘත කිරීමට නොහැකි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. මාර්ග කි.මි. ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ දී ග්‍රාමීය හා වතු මාර්ග සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇතැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා රට ගොඩනැගීමට ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය විය යුතු බව පැවසීය.

මාර්ග සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගාසිටුවිය හැකි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනු ලැබිණ.

මෙහිදී උත්සව සභාව ඇමතූ මහාමාර්ග අමාත්‍යවරයා කුලුණු මතින් ඉදිවන කැලණිය නව ගුවන් පාලම සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර මේ වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කරන බව සඳහන් කළේය.

මෙ රට සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 500ක සහනදායී මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති, හාට්ව්ග් ෂෙෆර් මහතා විසින් සඳහන් කරනු ලැබිණ.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනතා නියෝජිතයෝ, ලෝක බැංකුවේ විදේශ නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– PMD

Post a Comment (0)
Previous Post Next Post