බාලවියේ සිසුවකුට අතවර කළ බදුල්ලේ ධම්මකිත්ති හිමි වසර 21ක් හිරේට


බාල වයස්කාර පාසල් සිසුවකු බරපතළ ලිංගික  අපයෝජනයට ලක් කිරීමේ  චෝදනාවන්ට වරදකරු වූ හිමිනමක අනුරාධපුර මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා වසර විසි එකක (21) බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. මෙලෙස දඬුවම් නියම වූයේ බදුල්ලේ ධම්මකිත්ති නමැති 51 හැවිරිදි ස්වාමීන් වහන්සේ නමකි.

$ads={2}

2016 වසරේ දෙසැම්බර් මස 1 දා සිට 2017 වසරේ  පෙබරවාරි මස 6 වන දින  දක්වා අතර කාලයේදී අනුරාධපුර අධිකරණ බල ප්‍රදේශයේ දී බාලවයස්කරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආ  (2) ආ වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව නගා ඇති අධි චෝදනා තුනම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බව නඩු තීන්දුවේ සඳහන්ය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඒ. කරුණාතිලක මහතා සහ අනුරාධපුරයට මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ  ස්ථානාධිපති පොලිස්  පරික්ෂිකා ධම්මිකා ද සිල්වා මහත්මිය ඇතුළු හත් දෙනෙක්  මෙම නඩුවේ සාක්ෂිකරුවන්  ලෙස නම් කරනු ලැබ  සිටියහ.   පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ සුපුන් රණසිංහ මහතා පෙනී සිටි අතර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙය වූයේය.

විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා තුනම සාධාරණ  සැකයකින් තොරව ඔප්පු  කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණයකොට එක් චෝදනාවකට වසර 07 බැගින් චෝදනා තුනට වසර 21 කට  සිර දඬුවමක් නියම කළේය.

විත්තිකරුට නියම කළ 21 වසරක සිර දඬුවමට අමතරව අධි චෝදනා තුනට වෙන් වශයෙන් රුපියල් 15000 බැගින් දඩ මුදල් ගෙවන  ලෙසට ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් මාස 18 ක සිර දඬුවමක් ද නියම කළේය. ඊට ද අමතරව අධි චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් වින්දිත බාල වයස්කාර පාසල් සිසුවාට ගෙවන ලෙසට ද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා එම වන්දි මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක සිර දඬුවමකට ද යටත් කළේය.  

Post a Comment (0)
Previous Post Next Post