ප්‍රියන්ත මරා දැමූවන්ට අල්ලා දෙවියන් සමාව දෙයිද? - සිරුර පුලුස්සන ගමන් සෙල්ෆි ගහලා


කුරානයේ වදන් සහිත පෝස්ටරයකුත් ඉවත් කළ බවට කටකතාවක් පැතිරිලා

කම්හල අසලට විශාල සෙනඟක්

ඇඳුම් ඉරාදමා දරුණු පහරදීම්

මරා දැමූ පසු මහ මග ඇදගෙන ගිහින්

ඇදගෙන යන අතරේ සිරුරට ගල් ප්‍රහාර

පාකිස්තානයේ ආගමික අන්තවාදය කරපින්නා ගත් පිරිසක් විසින් පෝස්ටරයක් ඉවත් කරන ලදැයි කියන සිදුවීමකට චෝදනා කරමින් ශ්‍රී ලාංකිකයකුට වධහිංසා පමුණුවා මරා දමා පසුව ඔහුගේ සිරුරට ගිනි තබන ලද්දේ පසුගිය සිකුරාදා (02 වැනිදාය)ය. පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කොට්හි පිහිටි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් (Rajco Industries) නම් ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයට සම්බන්ධ කාර්මික ඉංජිනේරු සමාගමේ කර්මාන්ත ශාලාවක කළමනාකරු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියන්ත දියවඩන මෙලෙස ප්‍රචණ්ඩකාරීන් විසින් ඝාතනය කරනු ලැබීය. සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හැරුණු මෙම සිදුවීමට අදාළ බිහිසුණු වීඩියෝ දර්ශනවල ප්‍රියන්තට පහරදී බිම හෙළනු දැකගත හැකිය. එහිදී සිය ගණනක් පිරිසක් ඔහුගේ ඇඳුම් ඉරාදැමීමටත් ඔහුට දරුණු ලෙස පහරදීමටත් පටන් ගනිති. ඔහුට වධ හිංසා පමණුවා මරා දමා මාර්ගයක් දිගේ ඇදගෙන යන අතර එහිදී වරින්වර විශාල ගල්වලින් ඔහුගේ සිරුරට පහර දෙන ආකාරයද නිරීක්ෂණය වෙයි. පසුව ඔහුගේ සිරුර මහ මගදීම පුලුස්සා දමයි. ඇතැමුන් පිලිස්සෙන මළ සිරුර සමග සෙල්ෆි ඡායාරූප ලබාගන්නා ආකාරයද දැකගත හැකිය.

වසර හතක් එම කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුරානයේ වදන් සහිත පොස්ටරයක් ගලවා ඇති බවට කටකතාවක් පැතිරීමත් සමග මෙම සිද්ධිය ආරම්භ වී ඇත. සිකුරාදා උදෑසන වන විට කම්හලේ ගේට්ටු අසලට විශාල සෙනඟක් එක්රැස්වීමට පටන් ගත් අතර සවස් වන විට ඔවුහු කර්මාන්ත ශාලාවට ඇතුළුවී ප්‍රියන්තව අල්ලා ගත්හ. මෙම සිදුවීම පිළිබඳ ජනමාධ්‍ය වෙත අදහස් දක්වන සියල්කොට්හි සහකාර පොලිස් කොමසාරිස්වරයා පවසා ඇත්තේ මෙවැන්නකි.

‘‘කම්හලේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීම සහ බිත්තිවල අලවා තිබුණු පෝස්ටර් ගලවා ඉවත් කර තිබෙනවා. ඔවුන් මුහම්මද් නබිතුමාගේ නම සඳහන් පෝස්ටරයක්ද එහිදී ගලවන්නට ඇති. සමහර විට එම නිසා කළමනාකරුව ඝාතනය කරන්න ඇති. අවාසනාවකට මට මේ පිළිබඳ වැඩිදුරටත් තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදුකරන්න බැහැ. මෙම මිනීමැරුමට අදාල සිදුවීම දේව අපහාසයක් වන නමුත් මිනීමැරුමට හේතුව පෞද්ගලික සහ ඉලක්කගත එකක් බව පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කරමින් තිබෙනවා.’’

$ads={2}

මෙම ම්ලේච්ඡ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් 900කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඒ අතුරින් 235ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊයේ (05 වැනිදා) සවස් වන විට පාකිස්තානයෙන් ලැබුණු වාර්තා සඳහන් කරයි. ඇමිනෙස්ට් ඉන්ටනැෂනල් ආයතනයද මෙම ඝාතනය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ දේව අපහාසයක් හේතුවෙන් ශ්‍රී ලාංකිකයකු සියල්කොට්හිදී මෙලෙස ඝාතනය කිරීම දැඩි තැතිගන්වන්නක් බවයි.

ඉස්ලාමීය රාජ්‍යයක් වන පාකිස්තානයට දේව අපහාසයට එරෙහිව මරණීය දණ්ඩනය නියම කිරීමේ කුප්‍රකට කුරිරු නීති පවතී. එම නීති බොහෝ විට වෙනස් ආගමික නිකායිකයන්ට සහ සුළු ජාතීන්ට එරෙහිව භාවිත කෙරෙන අතර බොහෝ විට චූදිතයන් උසාවියකින් වැරදිකරුවන් බවට ඔප්පු කිරීමට පෙර ඝාතනය කරනු ලබයි. පාකිස්තානයේ අපහාස කිරීමේ සිදුවීම් වටා ගෙතී ඇත්තේ භීතියේ සංස්කෘතියකි. බොහෝ විට චූදිතයන් වැරදිකරුවන් බවට පත් කරනවා හැර වෙනත් තීන්දුවක ලබාදීමට අධිකරණවල විනිසුරුවෝ පවා බිය වෙති.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙම ඝාතනය හෙළා දකින බව පවසමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. ‘‘සියල්කොට්හි කම්හලක ශ්‍රී ලාංකික කළමනාකරුවකු බිහිසුණු ලෙස ඝාතනය කිරීම පාකිස්තානයට ලජ්ජාවකි. මම මේ පිළිබඳ පරීක්ෂණය අධීක්ෂණය කරමින් සිටින අතර වගකිවයුත්තන් සියලු දෙනාටම නීතියේ දැඩි දඬුවම් ලබා දෙමි. අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් පවතී.’’ යැයි අගමැතිවරයා එහි සඳහන් කර ඇත. එහෙත් කලාපීය භූ දේශපාලනය පිළිබඳ අවධානයෙන් සිටින විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයන් සාමාජිකත්වය දරන පාකිස්තානයේ දැඩි මතවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන තහ්රික් - ඊ- ලබ්බයික් පාකිස්තාන් (Tehreek - e- Labbaik Pakistan TLP) පිළිබඳ වන අගමැති ඛාන්ගේ ප්‍රතිපත්තිය සැබෑ ලෙසම වෙනස්ව ඇත්නම් එය සතුටට කරුණක් බවයි. ඊට හේතුව වන්නේ අගමැති ඛාන් බලයට ගෙන ඒමේදී TLP සංවිධානයද සැලකිවයුතු කාර්යභාරයක් ඉටුකර තිබීමයි.

කෙසේ වෙතත් TLP සංවිධානය ඛාන් රජය යටතේද තවදුරටත් තහනම් සංවිධානයක් වන නමුත් එහි ක්‍රියාකාරීහු බො​හෝ විට විවෘතව ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙති. කෙසේ වෙතත් ජිහාඩ් අන්තවාදය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප නොකරන අගමැති ඛාන්ගේ සිට ඔහුගේ හමුදා මාණ්ඩලික ප්‍රධානියා මෙන්ම ඇමැති මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක්ද මෙම සිදුවීම හෙළා දකිමින් එකමතයකට පැමිණීම මෑත ඉතිහාසයේ පාකිස්තානයේ ප්‍රගතිශීලී සිවිල් සමාජයේ නැඟී සිටීම පිළිබිඹු කරන්නක් බව දැකගත හැකිය.

කෙසේ වෙතත් පාකිස්තානයේ සිදුවූ මෙම ම්ලේච්ඡ ඝාතනය හමුවේ එය එකවර හෙළා දැක රාජ්‍ය තාන්ත්‍රිකව විරෝධතා දැක්වීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැත. විශේෂයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද්ධය පැවැති සමයේදී පාකිස්තානය විසින් මෙරට රජයේ හමුදාවන්ට ආයුධ සහ උණ්ඩ ලබාදෙමින්ද විශේෂයෙන් ගුවන් හමුදාවට විශේෂ පුහුණු ලබාදෙමින්ද සිදුකර ඇති මෙහෙය ශ්‍රී ලංකාවට අමතක කළ නොහැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ‘සිදුවීම පිළිබඳව තමා දැඩි කනස්සල්ලට’ පත්ව සිටින බවයි. එසේම වින්දිතයාට යුක්තිය ඉටුකිරීම මෙන්ම පාකිස්තානයේ දැනට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසද එම පණිවිඩයෙන් ඉල්ලා තිබේ.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක නගර සමුළුවට සහභාගිවීමට එහි ගොස් සිටින ශ්‍රී ලාංකික සහ පාකිස්තාන නායකයන් දෙදෙනා මෙම සිදුවීම පිළිබඳවද සාකච්ඡා කර ඇත. එම හමුව සිදුව පැය 24ක් ගතවීමට පෙර පාකිස්තාන ප්‍රවෘත්ති ඇමැති හවාඩ් චෞදි ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ මියගිය ප්‍රියන්ත දියවඩන වෙනුවෙන් පාකිස්තාන රජය වන්දියක් ලබාදීමට කටයුතු කරන බවයි.

Post a Comment (0)
Previous Post Next Post