ඔත්පළ වූ දෙමාපියන්ට පණ දෙන්න පාසල් ගමන නිමාකළ නතාෂා...මාස 2කේ මල්ලිත් අනතුරින් නැතිවෙලා

“උදේ හවස බුදුන් වැඳ ඉල්ලන්නේ මගේ අම්මවයි තාත්තවයි ඉක්මනින්ම හොඳ කරලා දෙන්න කියලා. ඊට පස්සේ දෙවනුවට පාසල් ගමන මම ආරම්භ කරනවා. සුදු ගවුමට සමුදී නිවෙසේ රැඳී සිටිමින් ඔත්පළව එක්තැන් ව සිටින සිය මාපියන්ට උපස්ථාන කරන කැකිරාවේ නාතාෂා සෙව්වන්දි දියණිය පැවසුවාය.

ඇය කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ දහ වැනි වසරේ අධ්‍යපනය ලබා තිබිණි. පදිංචි වී සිටින්නේ ඇළගමුවේ කුලී නිවෙසකය. ඇයගේ මව සහ පියා ඔත්පළව එකතැන් වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට රෙදි මිලදී ගැනීමට ගිය අවස්ථාවේදීය.

ඇළගමුවේ සිට දඹුල්ල නගරයට නතාෂාගේ මව පියා සහ බාල සහෝදරයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී සිදු වූ අනතුරින් ත්‍රීරෝද රථය පෙරළී ගොස් මොවුන් ගමන් කළ යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබිණි. අනතුරින් නතාෂාගේ බාල සහොදරයා එම ස්ථානයේදීම මිය ගොස් තිබූ අතර සිය මව සහ පියා වන දිමාල් අසංක දෙනගමගේ (39) සහ උදේනි අබේරත්න (38) දෙදෙනා ඔත්පළව වූ බව නතාෂා කියා සිටියාය.

එදා පටන් අද දක්වාම දෙපා අප්‍රාණිකව එක්තැන්ව සිටින මෙම මවට සහ පියාට සියලු ඇප උපස්ථාන සිදු කරනු ලබන්නේ මෙම දියණිය විසිනි. පාසල් ගමනට පවා සමු දුන් ඇය පියා සහ මව සෝදා පිරිසුදු කොට ඔවුන්ගේ කැසිකිළි වැසිකිළි සියල්ල ඉවත් කරන්නේද ඇයගේ සිය දෑතිනි.

අසල නිවෙසකින් ඉල්ලා ගත් විල්බැරෝවකින් දෙමව්පියන්ට නිවෙසට අවශ්‍ය ජලය රැගෙන එන්නීය. මවගෙන් අසා ගෙන ඉයුම් පියුම් කටයුතුද සිදු කරන්නීය.

නතාෂාගේ එකම බලාපොරොත්තුව සහ ඉල්ලීම බවට පත් වූයේ තමන්ගේ මව පියා සුවපත් කරගැනීම බවත් දෙවනුව තමා පාසල් ගමන යන බවත් ඇය පැවසුවාය.

$ads={2}

-කේ. කේ. ආරියදාස - දඹුල්ල

Post a Comment (0)
Previous Post Next Post