මා තරුණියකට යැවූ SMS දැක 15 වියැති පෙම්වතිය කළු පාලමෙන් පැන්නා..මම ගෙදර ගියා... - පෙම්වතා කියයි


මහනුවර බාලිකා විදුහලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සිසුවියක් පේරාදෙණිය කළු පාලම අසලින් මහවැලි ගඟට පැන අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන විසි හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර, තැන්නකුඹුර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි මෙම සිසුවිය ඉකුත් 09 වැනිදා සිට අතුරුදන් බවට ඇයගේ දෙමාපියන් පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව සිසුවියගේ පෙම්වතා පෙරේදා (14 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

$ads={2}

බැඩ්මින්ටන් පුහුණුව සඳහා මෙම සිසුවිය ඉකුත් 09 වැනිදා පස්වරු 2.30 ට පමණ මෝටර් රථයෙන් පාසලට ඇරලවා පියා පිටව යනවාත් සමග ඇයද පාසලෙන් පිටතට පැමිණෙන අයුරු සි.සී.ටී.වී කැමරාවල සටහන්වී ඇතැයි පොලිසිය පවසයි.

අනතුරුව ඇය තමන් හමුවීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාබදව පිහිටි කළු පාළම අසලට පැමිණි බවත්, තමාගේ දුරකථනයෙන් වෙනත් තරුණියකට යවන ලද කෙටි පණිවිඩ කිහිපයක් දැක ඇය පාලමෙන් ගඟට පැන්න බවත් තරුණයා පොලිසියට පවසා ඇත.

ඇය ගඟට පැනීම නිසා බියට පත්වූ තමා සිද්ධිය කිසිවකුට හෝ නොකියා සිය නිවසට වී සිටි බව තරුණයා පොලිසියට පාපොච්චාරණය කර ඇත.

ඔහුගේ ප්‍රකාශයෙන් පසු පොලිස් ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කළු පාලම අසලින් මහවැලි ගඟට බැස පරීක්ෂා කර ඇතත් ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

අධිකරණයට ඉදිරිපත් කළ තරුණයා අද (16 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.

Post a Comment (0)
Previous Post Next Post