අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ ඛේදවාචකය මෙරට මහජනතාවට ආරක්ෂාව සපයන නීතිය හා සාමය රකින ප්‍රධානම ආයතනයට ඇති ආරක්ෂාව කොතනදැයි ප්‍රශ්න කරන්නට තරම් සමාජ කතිකාවක් ඇති කළ සිද්ධියකි. අපිට බොහෝවිට අසන්නට ලැබෙන්නේ පොලිසිය අතින් වෙඩි කා මියයන අපරාධකරුවන් හෝ වෙනත් පුද්ගලයන් ගැනය. නමුත් තිරුක්කෝවිල් පොලිසියේ වූ සිද්ධිය ඊට හාත්පසින්ම වෙනස්ය. සිද්ධිය සැකෙවින් මෙසේය.
කිතුනු ජනතාව උත්සව ශ්‍රීයෙන් සමරන නත්තල් දිනයට යෙදී තිබුණේ හෝරා එක හමාරක පමණ කාලයකි. තිරුක්කෝවිල් නගරයට ද දෙමළ භාෂාව කතා කරන කතෝලික ජාතිකයන්ගෙන් පිරුණු ප්රදේශයකි. නත්තල් අසිරියෙන් තිරුක්කෝවිල් නගරයේ ස්ථාන මෙන්ම තිරුක්කෝවිල් පොලිසිය ද විදුලි අලංකාර සහ නත්තල් සැරසිලිවලින් වර්ණවත් වී තිබිණි. තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා රාත්‍රී කාලයේ මුර සංචාරයක යෙදීම සාමාන්‍ය පුරුද්දක් වුවත් නත්තල් දේව මෙහෙය තිරුක්කෝවිල්හි කතෝලික දේවස්ථාන කිහිපයකම (24 වැනිදා) රාත්‍රියේ පැවතීම නිසා ඔහු වෙනදාට වඩා එදින කාර්ය බහුල විය. මෙදින නත්තල් අසිරියෙන් බැබලෙද්දි තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකු ටී පනස් හය ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් මුළු පොලිස් ස්ථානයම ලේ විලක් බවට පත්ව තිබිණි.
දණහිසේ ආබාධය ඇති වුණේ බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී
තිස් හතර හැවිරිදි පොලිස් සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර මොණරාගල, ඇතිමලේ වැව ආසන්නයේ පදිංචි විවාහක පුද්ගලයෙකි. මව,පියා සහ සොහොයුරු සමගින් සිටින ඔහු අම්පාර තිරුක්කෝවිල් පොලිසියට අනියුක්තව රාජකාරියට පැමිණ ඇත්තේ මීට මාස නවයකට පෙරය. ඔහු මීට පෙර වවුනියාව ඕමන්ත පොලිසියේ රාජකාරී කර ඇත. ඔහු සමන්තුරේ පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව ද සේවය කළ අයෙකි. 2017 වසරේදී බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පැවති පොලිස් පාඨමාලාවක් අතරවාරයේදී දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් වෙහෙස රාජකාරීවලින් ඉවත් වීමට වෛද්‍ය අනුමැතිය ලබා තිබිණි.
ඔහුගේ දණහිසේ සිදුවූ තුවාලයක කූඩැල්ලකු සපාකෑමෙන් පසු ඉන් විෂබීජයක් දණහිසට ඇතුළු වීම මත පාදයේ මස් කැබැල්ලක්ම ශල්‍යකර්මයක් මාර්ගයෙන් ඉවත් කිරීමට සිදුව තිබිණි. මේ අනුව පොලිස් සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර පොලිස් ස්ථාන කිහිපයකම වෛද්‍ය නිර්දේශ මත සැහැල්ලු රාජකාරී සිදුකර ඇත. පසුගිය 24 වැනිදා ඔහු තිරුක්කෝවිල් පොලිසියේ රථවාහන අංශයේ පොත්පත්වල රාජකාරී කළේය.
පිං පඩි ගන්නවා යැයි අපහාස කරලා
මොහුගේ ශාරීරික පීඩාකාරී තත්ත්වය ඔහුට මානසික පීඩාවක් බවට පත්වූයේ තිරුක්කෝවිල් පොලිසියට පැමිණීමටත් පෙර සිටය. මොහුගේ ආබාධය නිලධාරීන් හෑල්ලුවට ලක්කිරීමත්, ඔහුට සැහැල්ලු රාජකාරී කිරීමට ඉඩකඩ ලබාදීමට ඊර්ෂ්‍යා කිරීමත් බොහෝ නිලධාරීන් ලෙඩක් නැතිව පන්දම් අල්ලා සැහැල්ලු රාජකාරී හදාගෙන ඇති බවට සහ පිං පඩි ගන්නා බවට මොහුට නිරන්තරයෙන් අපහාසත් සිදුකර තිබිණි. මෙමගින් වූ පීඩනය දිනෙන් දින උග්‍ර වන්නට පටන් ගෙන තිබිණි. මිතුරෙකු යැයි කීමට ඔහුට පොලිසියේ කිසිවෙකු හෝ සිටියේ නැත. ඕමන්ත මෙන්ම ඔහු පෙර සේවය කර ඇති සමන්තුරේ පොලිසිවලද ඔහු රාජකාරී කර ඇත්තේ හුදෙකලාවය.
පසුගිය 24 වැනිදා දිනේෂ් තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී තමාට නිවාඩුවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. මෙහිදී නිලධාරීන්ගේ පවතින අඩුව හා නත්තල් දිනය හා වසරේ අවසන් දින කිහිපය යෙදීම හේතුකරගෙන ඔහුට නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි. මේ හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් හා උසස් නිලධාරීන් හා වෛරයෙන් පසුවූ පොලිස් සැරයන් දිනේෂ් එදින රාත්‍රියේ පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අතර මුර රාජකාරී කුටිය අසලට ආවේ රාත්‍රී 10.30ට පමණය.
පළමු ප්‍රහාරයෙන් දෙදෙනෙක් මරුට
එහි රාජකාරියේ නියුතු සැරයන්වරයාගේ ගිනි අවිය උදුරාගත් දිනේෂ් ප්‍රථමයෙන්ම පොලිස් ස්ථානයේ උප සේවක නිලධාරී කොස්තාපල්වරයාටත්, එහි සිටි තවත් නිලධාරියෙක්ටත් වෙඩි තබා තිබිණි. ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබිණි. අනතුරුව පොලිස් ස්ථානයේ ආයුධ ගබඩා කර ඇති පෙට්ටිය විවෘත කරන මොහු එහි තිබූ තවත් ටී. පනස් හය ගිනි අවියක් සහ මැගසින් 19ක් ගෙන ඇත. එම අවස්ථාවේදී රාජකාරී කටයුත්තකට පොලිස් ස්ථානයෙන් බැහැරට ගොස් සිටි පොලිස් ස්ථානාධිපතිවරයාත් තවත් නිලධාරීන් කිහිප දෙනකුත් රාජකාරී ජීප් රියෙන් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියහ.
එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඉලක්ක කරගෙන මොහු අතැති ටී පනස් හය ගිනි අවියෙන් වෙඩි තබා ඇත. එම වෙඩි තැබීමෙන් පොලිස් කොස්තාපල් රියැදුරෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු තවත් එක් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මැගසිනයක් ඉවර වනතුරු වෙඩි
මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ එක් ටී.පනස් හය ගිනි අවියකින් හා මැගසිනයකින් වන අතර එම මැගසීනය අවසන් වනතුරුම මොහු වෙඩි තබා ඇතැයි විමර්ශන මගින් හෙළිවී ඇත. වෙඩි තැබීම සිදුකර පොලිස් සැරයන් දිනේෂ් තමන්ට අයත් කැබ් රියට කොල්ලකෑ ගිනි අවිය හා මැගසින් 19 දමා ගනිමින් ඇතිමලේ පිහිටි නිවෙස වෙත ගොස් ඇත්තේ පොලිස් මාර්ග බාධක රැසක්ම පසුකරගෙනය.
එදින රාත්‍රියේ නිවෙසට ගිය පොලිස් සැරයන්වරයා සිය මවගේ දෙපා නැමද සිද්ධිය පාපොච්ඡාරණය කර ඇත. ඉන් අනතුරුව ගිනි අවි දෙක සහ උණ්ඩ සහිත මැගසින් 19ද සමගින් ඇතිමලේ පොලිසියට ගොස් භාර වී තිබේ. ඉන් අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අම්පාර මූලස්ථාන පොලිසිය වෙත භාර දෙනු ලැබීය.
$ads={2}
අම්මා කියන කතාව - සැකකාර පොලිස් සැරයන්වරයාගේ මව මේ පිළිබඳව මෙසේ කියන්නීය.
‘‘අපේ සුදුපුතාගේ (සැකකරුට පවුලේ අය කියන නම) යාළුවෙක් ඉන්නවා පොලිසියේ. එයා තමයි කිව්වේ මල්ලී මෙහෙම වෙඩි තියලා කියලා. එයා ගෙදර ආවා. ඇවිත් විස්තරේ කියලා වැන්දා. මොණරාගලට භාර වෙන්න ගියේ එයා. ආපහු එයා මෙහේ එන අතරවාරයේදී පොලිසියේ අය වෙඩි තිබ්බ නිසා එයා ඇතිමලේ පොලිසියට භාර වුණා. එයා 2012 වසරේ ආබාධයට ලක්වූ නිසා එයාට යුනිෆෝම් අඳින්න බැහැ. එයාට මුල ඉඳලම පොලිසියේ නිලධාරීන් කෙනෙහිලිකම් කළා. එයා මෙඩිකල් නිසා එයාට වෛර කරනවා. එයා මෙඩිකල් පගාවට අරන් නිකං පඩි ගන්නවා කියල තැන් තැන්වල කියල තියෙනවා. ඒ අහිංසකයාව මේ නිලධාරීන් අංගුලිමාලයෙක් කරලා. මේ පීඩනයෙන් තමයි මගේ දරුවා වැඩ කරලා තියෙන්නේ’’
මෙම වෙඩි තැබීමෙන් මරණයට පත්වූයේ පොලිස් සැරයන් 44132 ඒ.එල්.එම්.අබ්දුල් කාදර්, පොලිස් කොස්තාපල්වරුන් වන (78857) ප්රබුද්ධ ගුණසේකර, (8861) අලගරත්නම් නවිනන්,පොලිස් කොස්තාපල් රියැදුරු 17882 ඩී.එම්. තුෂාර යන නිලධාරීන්ය. පොලිස් සැරයන් අබ්දුල් කාදර් අම්පාර ඔළුවිල් හි පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. පොලිස් කොස්තාපල් අලගරත්නම් නීවනන් 34 හැවිරිදි කල්මුණේ පදිංචි පුද්ගලයෙකි. ඩී.එම්. තුෂාර සියඹලාණ්ඩුව පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකි. පොලිස් කොස්තාපල් ප්රබුද්ධ ගුණසේකර බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු විවාහ වී ඇත්තේ මීට මාස හතරකට පෙරය.
වෙඩිපහරින් මියගිය පොලිස් කොස්තාපල් දිසානායක මුදියන්සේලාගේ තුෂාරගේ බිරිඳ මෙසේ කීවාය.
‘‘එයා 24 වැනිදා රාත්‍රී 08.30ට විතර කතා කළා. අපේ දරුවාගේ උපන් දිනය 24 වැනිදා. දරුවාගේ උපන් දිනට කළිසමක් ගන්න යන්න ඕන හෙට ලෑස්ති වෙලා ඉන්න කියලා කීවා. ඊට පස්සේ එයා කතා කළේ නැහැ. පහුවදා නිවුස්වලින් තමයි දන්නේ තිරුක්කෝවිල් පොලිසියේ වූ වෙඩි තැබීමෙන් මගේ සැමියා මිය ගිහිං කියලා.
මෙම අනතුරින් මියගිය 35 හැවිරිදි පොලිස් කොස්තාපල් රියැදුරු ප්රබුද්ධ ගුණසේකර ගේ බිරිඳ මෙසේ කීවාය.
මම මොණරාගල රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක්. අපි විවාහ වෙලා මාස හතරයි. පහුගිය 15 වැනිදා තමයි එයා රාජකාරීයට ගියේ. එයා අවංකව රාජකාරී කරන කෙනෙක්. පහුවදා නිවුස්වලින් තමයි පොලිසියේ මේ සිද්ධිය දැක්කේ. හොයලා බලද්දි රෝහලෙන් කිව්වා එයා මිය ගිහිං. මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ’’
පොලිස්පති චන්දන වික්‍රමරත්න ඊයේ (26 වැනිදා) මියගිය පොලිස් නිලධාරීන්ගේ නිවෙස් වලට ගොස් ඥාතීන් සමග කතා කර ශෝකය පළකර සිටියේය. මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක තනතුරටත්, කොස්තාපල් නිලයේ තිදෙනාම සැරයන් තනතුරටත් උසස් කිරීමට පියවර ගෙන තිබෙන බව අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක පැවැසීය.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කර සිටියේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා මීට මාස නවයකට පෙර වව්නියාවේ ඕමන්ත පොලිසියේ සිට තිරුක්කෝවිල් පොලිසියට පැමිණ සිටි අයෙකු බවය. මොහු සෑම මසකම පාහේ දින අටක නිවාඩුවක් ගෙන තිබෙන බවත් එවන් නිවාඩුවක් ගෙන අවසන් වරට රාජකාරියට වාර්තා කර ඇත්තේ පසුගිය නොවැම්බර් 18 වැනිදා බවත්ය. ඔහු නිවාඩු ඉල්ලීමක් මුල් කරගෙන මෙම වෙඩිතැබුම සිදුකළැයි කියා ප්‍රකාශ මගින් පැහැදිලිව සඳහන් කර නොමැති වුවත් මෙම අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුවන බවත් ඒ වෙනුවෙන් අම්පාර දිසාවේ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ විශේෂ විමර්ශනයක් තම අධීක්ෂණය යටතේ සිදුවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
සැකකාර දිනේෂ් රවින්ද්‍ර කුමාර නමැති පොලිස් සැරයන්වරයා අක්කරෙයිපත්තුව මහෙස්ත්‍රාත් එම්.එච්.එම්. හන්සා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
එයා 24 වැනිදා රෑ 08.30ට විතර කතා කළා. අපේ දරුවාගේ උපන් දිනය 24 වැනිදා. දරුවාගේ උපන් දිනට කළිසමක් ගන්න යන්න ඕන හෙට ලෑස්ති වෙලා ඉන්න කියලා කීවා. ඊට පස්සේ එයා කතා කළේ නැහැ. පහුවදා නිවුස්වලින් තමයි දන්නේ තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමෙන් මගේ සැමියා මිය ගිහිං කියලා.
- මියගිය පොලිස් කොස්තාපල් තුෂාරගේ බිරිඳ
පුතා මෙහේ එන අතරවාරයේදී පොලිසියේ අය වෙඩි තිබ්බ නිසා එයා ඇතිමලේ පොලිසියට භාර වුණා. 2012 වසරේ ආබාධයට ලක්වූ නිසා එයාට යුනිෆෝම් අඳින්න බැහැ. එයාට මුල ඉඳලම පොලිසියේ නිලධාරීන් කෙනෙහිලිකම් කළා. මෙඩිකල් හිටපු නිසා පුතාට ගොඩක් අය වෛර කළා. එයා පගාවට මෙඩිකල් අරන් නිකං පඩි ගන්නවා කියල තැන් තැන්වල කියල තියෙනවා.