දවස් 40ක් අපි හිටියේ කඩ පිලේ - අනේ මාමේ අපිව ගෙදරට නම් භාර දෙන්න එපා.


අනේ මාමේ අපිව ගෙදරට නම් භාර දෙන්න එපා.ගෙදර ගියොත් අපිට හොඳටම ගහයි.

එසේ පැවසුවේ මීට දින 40 කට ඉහතදී අතුරුදන් වූ බව කියන කවීෂ සඳරුවන් සහ (10) අකිල දිනිඳු (14) යන දරුවන් දෙදෙනා කාන්තාවක් විසින් ඊයේ (06) මීරිගම පොලිසියට භාර දුන් අවස්ථාවේදීය.

$ads={2}

මෙම දරුවන් දෙදෙනා පෙරේදා 05 රාත්‍රීයේ මීරිගම ආපන ශාලාවක් අසලට පැමිණ ඇති අතර අද ඔවුන් බඩ ගින්නට කෑම ඉල්ලා ඇත. පසුව වෙළඳසැල හිමි කාන්තාව නැලිගම ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට කැඳවාගෙන ගොස් පසුදින මීරිගම පොලිසියට භාරදී ඇත.

නිවැසියන් පහර දුන් නිසා නිවසින් පැන ආ බව දරුවන් පොලිසියට පවසා ඇත. ඔවුන් නිවසින් පැන විත් අසල නිවසක වත්තේ ගොටුකොළ කඩා විකුණා රුපියල් සියයක් ද රැගෙන මීරිගම නගරයට පයින් ම පැමිණ ඇත. ඉන්පසුව බස් රථයක නැගී මීගමුව නගරයට පැමිණි ඔවුන් පසුගිය කාලයේ මීගමුව නගරයේ කඩ අගුපිල්වල ලගිමින් තැන් තැන්වලින් සොයාගත් ආහාරවලින් කුස පුරවා ගෙනඇති බව පොලිසිය පවසයි.

දරුවන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය මගින් පරීක්ෂණ සිදුකළද ඒ සම්බන්ධව තොරතුරක් සොයා ගැනීමට ඔවුන් සමත් වූයේ නැත.පසුව එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට කටයුතු කර තිබිණි. මෙම පරීක්ෂණ අතරතුරදී දරුවන් මෙසේ ඊයේ මීරිගමට පැමිණ තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් අප අතුරුදන් වූ බව කියන වයස අවුරුදු දාහතරක් වන අකිර දිනිඳු දරුවගෙන් විමසුවෙමු. ඔහු පැවසුවේ මෙවන් දෙයකි.

මායි මල්ලියි හිටියේ බාඳුරාගොඩ අපේ ගෙදර. අපි හැමදාම අම්මගෙන් ගුටි කනවා. ඒ මල්ලි බලාගන්නේ නෑ කියලා. අපිට හරියට වධ දෙනවා. අපි දවසක් දා ගෙදරින් පැනලා ගියා. ඒත් කොටදෙණියාව පොලිසියෙන් අපිව හොයාගෙන ඇවිල්ලා ආයෙත් ඒ ගෙදරටම භාර දුන්නා. එදා ඉඳන් අපි හැමතිස්සෙම ගුටි කනවා. ඕන දේටයි එපා දෙයටයි හැම එකටම අපිට තළනවා. ඉතින් මේ පාරත් අපි ගෙදරින් පැනලා ගියා. ඒ අම්මලා මිහිරිගම ටවුන් එකට ආපු වෙලාවේ . අපි ගිහිල්ලා එහා පැත්තෙ ගෙදරක වත්තක ගොටු කොළ කඩලා මිටි හදල ළඟ කඩයකට විකුණලා රුපියල් සියයක් අරගෙන මිරිගමට පයින්ම ආවා.

ඊට පස්සේ අපි බස් එහෙක නැගලා මීගමුවට ආවා. මීගමුවේ අපි කඩවල් වල අගු පිලවල්වල රැට නිදිය ගත්තා. කඩවල මාමලා දුන්න කෑම අපි කෑවා. පොලිසියේ මාමලා අපෙන් ඇහුවා අපි මොකද මෙතන කරන්නෙ කියලා. අපි කිව්ව මාමා එනකල් ඉන්නවා කියලා. ඊට පස්සේ අපි පෙරේදා මිරිගම ටවුන් එකට ආවා. අපි මිරිගම ටවුන් එකේ කඩේකින් බඩගින්නට කෑම ඉල්ලුවා. ඒ ඇන්ටි හරිම කරුණාවන්තයි. එයා අපිට කෑම දීලා අපිව ගෙදර එක්කගෙන ගියා. අපිට අලුත් ඇඳුම් ඇදගන්නට දුන්නා. අපි පහුවදා උදේම පොලිසියට ගෙනත් භාර දුන්නා. අනේ මාමේ අපිව කොටදෙණියාවෙ පොලිසියට ගෙනෙහින් දාන්ඩ එපා. ආයෙත් අපිව අම්මලාට ගිහිල්ලා භාරදෙනවා පොලිසියෙන්. අනේ පින්සිද්ද වෙයි පුළුවන්නම් මේ ඇන්ටිලාගේ ගෙදර ම අපිට ඉන්ඩ ඉඩ සලස්වා දෙන්ඩ.

කෙසේ වෙතත් මිරිගම පොලිසිය විසින් මේ වන විටත් දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටදෙණියාව පොලිසියට භාරදී ඇති අතර ඔවුන් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment (0)
Previous Post Next Post