ෆාතිමාගේ මිනීමරුවා හසුවූ හැටි මෙන්න..

බණ්ඩාරගම අටලුගම මුස්ලිම් කොලනියේ පදිංචි මොහොමඩ් පාතිමා වයස අවුරුදු නමයක දැරියකි. පවුලේ තුන්වෙනියා වන ඇයට වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු සහ නැගණියක සිටී. කුඩා කල සිටම ඇය ප්‍රියමනාප දැරියක වූවාය. එම නිසාම දෙමව්පියන්ගෙ ආදරයට අමතරව ඥාතීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආදරයද නොඅඩුව ඇයට ලැබුණාය.


පාතිමා පාසල් අධ්‍යාපනය හැදෑරුවේ අටලුගම අල් ගස්ආලී විදුහලේ හතරවන ශ්‍රේණියේය. ඉගෙනීමට දක්ෂ වූ ඇය පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක වූවාය. පාතිමාගේ දක්ෂතාවන් හඳුනාගත් ගුරුවරු අධ්‍යාපන කටයුතුවලට අමතරව ඇයගේ ඇතැම් පෞද්ගලික කටයුතුවලට පවා උදව් උපකාර කළහ. ඒ තරමටම ඇය තම පාසලේ ගුරුවරුන්ගේ සිත් ද දිනා ගෙන සිටියාය.


සාමාන්‍ය පවුලක හැදී වැඩුණු පාතිමාට තම වැඩිමහල් සහෝදරයන් දෙදෙනාටත් වඩා පවුලේ අගහිඟකම් සහ ගැටලු ගැන මනා අවබෝධයක් තිබුණාය. ඇයගේ පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. එමනිසා ස්වාමි පුරුෂයකු සහ පියකු වශයෙන් පවුලට ඉටුවිය යුතුකම් නිසි ආකාරව ඔහුගෙන් ඉටු වූයේ නැත. එවැනි අවස්ථාවලදී තම මවට හැකි උපරිම අයුරින් උදව් උපකාර කිරීමට පවා මෙම දැරිය ඉදිරිපත් වූවාය.


දිනය පසුගිය 27 වැනිදාය. එදින ෆාතිමා ගේ මව නිවස ආසන්නයේ පිහිටි මස් කඩයට යෑමට සූදානම් වූවාය. එය දුටු පාතිමා තම මවට මෙලෙස පැවසුවාය.


“අම්මා මස් කඩේට නේද යන්න හදන්නේ.”


“ඔව් මම කුකුල් මස් ටිකක් ගේන්න යන්න බැලුවේ.”


“නංගිත් අඬනවනේ. අම්මා ඉන්න මම යන්නම්.”


“ඔයාට පුළුවන්ද ගිහිල්ලා ගේන්න.”


“ඇයි බැරි වෙනදටත් මම ගේන්නේ.”


“එහෙනම් පරිස්සමෙන් ගිහින් කුකුල් මස් ටිකක් අරගෙන ඉක්මනට එන්න.”


“හරි අම්මා බයවෙන්න එපා. මම ඉක්මනටම මස් අරගෙන එන්නම්. අම්මා නංගිව බලාගන්න.”


තම මවට එලෙස පැවසූ ඇය මුදල් ද රැගෙන මස් කඩය දෙසට ගියාය. මස් කඩය පිහිටා තිබුණේ ඇයගේ නිවසේ සිට මීටර් තුන්සියයක් පමණ දුරකිනි. නිවස ආසන්නයේ මස් කඩය පිහිටා තිබුණත් එක්තරා ස්ථානයකදී දෙපස ඇති ලඳු කැලෑවකින් යුතු මඩ වගුරක් පසු කර යා යුතුව ඇත. පාතිමා නමැති කුඩා දැරියට එය නුපුරුදු ස්ථානයක් නොව. ඇය පමණක් නොව එම ගමේ තවත් දරු දැරියන් කිසිදු බියක් සැකක් නොමැතිව එම ස්ථානය පසුකර ගෙන තනියම ගමන් කරති. පාතිමාද එම ස්ථානය පසුකර මස් කඩය වෙත ගියාය.


ඇය මස් කඩය වෙත යන අවස්ථාවේ මිනිසුන් තුන් හතර දෙනකු එහි සිටියහ. ඒ අතර මොහොමඩ් ෆාරුක් ද සිටියේය. ෆාරුක් යනු ෆාතිමා ගේ නිවස අසල පදිංචි පුද්ගලයෙකි. දුරකින් ඥාති සම්බන්ධතාවක් ද තිබේ. ඔහු පාතිමා දෙස සිනහවක් පා එම ස්ථානයෙන් පිටව ගියේය. ෆාරුක් ගේ ඒ සිනහව තුළ නපුරු දෙයක් ගැබ්වී තිබුණි. එහෙත් ඒ කිසිවක් නොදත් පාතිමා දැරිය පෙරළා ඔහුට සිනහවකින්ම සංග්‍රහ කළාය.


මොහොමඩ් ෆාරුක් යනු වයස අවුරුදු 29ක වන දියණියන් තිදෙනකුගේ පියෙකි. කොත්තු බාස් කෙනෙක් වශයෙන් ඔහු රැකියාව කළේය. එලෙසම ඔහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. චරිතය අතින් ගත් කල ෆාරුක් එතරම් තරම් හොඳ මිනිසකු නොවීය. දියණියන් තිදෙනකු සිටින පියෙක් වුවත් ඔහු ඒ ගැන කිසිදු තැකීමක් සිදු නොකර ගතකළේ බේබදු සහ සල්ලාල ජීවිතයකි. ස්ත්‍රීන් සමග අනියම් සම්බන්ධතා පමණක් නොව ස්ත්‍රීන්ට විවිධ අයුරින් ලිංගික අඩන්තේට්ටම් පවා කිරීමට පවා මොහු උත්සාහ කළේය. සමහරු මොහුව නිවසටවත් වද්දවා ගත්තේ නැත. ඒ ඔහු තිරිසන් සතෙකුටත් වඩා අන්ත පුද්ගලයෙකු නිසාය.


පාතිමාගේ පියා ඒ කිසිවක් ගණන් නොගෙන මොහු සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩ නගාගෙන ගියේය. ඒ දෙදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම අබ්බහි වී සිටි නිසාය. සමහර අවස්ථාවලදී දෙදෙනා එකටම මත්ද්‍රව්‍ය භාවිත කළේය. එයට අමතරව පාතිමාද ෆාරුක්ගේ එක් දියණියක සමග ළඟින්ම අසුරු කළාය. ලද සෑම මොහොතකම පාතිමා එම නිවසට ගොස් ඇය සමග සෙල්ලම් කළාය. සමහර අවස්ථාවලදී මෙම පුංචි දැරිවිය උඩුකය නිරුවත්ව පවා එම නිවසට ගොස් සෙල්ලම් කළාය. එවන් එක් අවස්ථාවකදී ෆාරුක් එම දැරියට යළි නිවසට ගොස් ගවුමක් අඳගෙන එන ලෙසට අවවාද පවා දී තිබුණි. එම නිසා පාතිමා දැරියට ඔහු ගැන තිබී ඇත්තේ ඉමහත් ගෞරවයකි.


ෆාරුක් එදින උදෑසන සිටම සිටියේ අයිස් නමැති මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කරමින්ය. එම නිසා ඔහුගේ සිහිය විකල් වී තිබුණි. එලෙස සිටි ෆාරුක් මස් කඩයෙන් එළියට පැමිණ වගුරු බිම අසල රැඳී සිටියේ පාතිමා යළි එනතුරුයි. ඒ වන විටත් පාතිමා නමැති පුංචි දැරිවිය ගැන එම පාපතරයාගේ සිතේ තිබුණේ පහත් ආශාවකි.


පාතිමා නමැති එම පුංචි දැරිවිය මස් මිලදී ගෙන යළි නිවෙස බලා යෑමට පිටත් වූවාය. එලෙස පැමිණි ඇය වගුරු බිම අසල ෆාරුක් සිටින අයුරු දුරතියාම දුටුවාය. ඔහු අසලට පැමිණි ඇය මෙලෙස විමසුවාය.

“ෆාරුක් මාමා මෙතන ඉඳන් මොකද කරන්නේ.”


“නෑහැ දුවේ මම ගෙදර යන්න ආවේ. මගේ බඩු වගයක් මෙතන වැටුණා ඒක හොයනවා.”


“කොතනටද වැටුණේ.”


“මෙන්න මේ අයිනට වැටුණේ.”


එලෙස පවසමින් ඔහු වගුරු බිම අයිනට අත දික් කළේය.


“හරි මාමේ එහෙනම් මම ගෙදර යන්නම්.”


“ගෙදර යන්න ඉස්සෙල්ලා මට උදවුවක් කරන්න පුළුවන්ද?”


“ඒ මොකක්ද මාමේ.”


“මගේ මේ නැතිවුන බඩු ටික හොයා දෙන්න පුළුවන්ද?”


“මම දන්නේ නැහැනේ වැටුන තැනක්.”


“ඔන්න ඔය වගුරු බිම අයිනට වැටුණේ දුව පොඩ්ඩක් බලන්නකෝ. මගේ තුනටිය රිදෙනවා නැවෙන්න අමාරුයි”


“එහෙනම් ඉන්න මාමේ මම හොයා දෙන්නම්.”


ඒ අනුව එම පුංචි දැරිවිය දෙකට නැමී මඩ වගුර දෙස බැලුවාය. එම දැරිවිය එලෙස බලනවාත් සමගම වටපිට බැලූ ෆාරුක් නමැති එම පාපතරයා එම පුංචි දැරිවිය තම ග්‍රහණයට ගෙන සිප ගැනීමට තැත් කළේය. එයින් කලබලයට පත් වූ දැරිය “අනේ මාමේ මේ මොකද කරන්නේ. මට ගෙදර යන්න දෙන්න. මම පොඩි අහිංසක ළමයෙක්” කියා පැවසුවාය.


එම මොහොතේ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රාග ගින්නෙන් පෙළී සිටි එම පාපතරයා පුංචි දැරියගේ එම අහිංසක ඉල්ලීම කනකටවත් ගත්තේ නැත. එම පාපතරයා කෙලෙස හෝ උත්සාහ කළේ එම පුංචි දැරියව දූෂණය කිරීමටයි. එහෙත් ඔහුගේ එම පහත් ආශාව ඉටුකර ගැනීමට නොහැකි විය. අහිංසක දැරිය තම ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වූවාය. එහෙත් මෙම පාපතරයාගේ ඇයට ගැලවීමක් තිබුණේ නැත.


තම සිතේ තිබූ පහත් ආශාව ඉටුකර ගැනීමට නොහැකි වූ තැන මෙම පාපතරයා මෙම දැරියව තවත් මීටර් කීපයක් පමණක් මඩ වගුර තුළට ඇදගෙන ගියේය. එලෙස අදගෙන ගිය පාපතරයා එම පුංචි දැරියගේ තුනටිය දණ පොල්කටුවෙන් තදකරගෙන ප්‍රාණය නිරුද්ධ වනතුරු හිස වගුරු බිමේ ඔබාගෙන සිටියේය. එලෙස ඉතා ම්ලේච්ච අයුරින් දැරිය ඝාතනය කළ එම නරුමයා සිරුරද එම ස්ථානයේම සඟවා තබා කිසිවක් සිදු නොවූ අයුරින් නිවෙස බලා ගියේය.

$ads={2}

තම දියණිය නිවසට පැමිණීම ප්‍රමාද නිසා ෆාතිමාගේ මව ඇය ගැන සොයා බැලුවා. එහෙත් ගම්මානය අවටින් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව ඇය මස් කඩේ මුදලාලි හමුවීමට ගියාය. එම මුදලාලිගෙන් පාතිමා ගැන විමසූ විට ඔහු පැවසුවේ කුකුළු මස් රැගෙන ඇය කඩෙන් පිටවී දැන් පැයකටත් වැඩි බවයි. එය ඇසීමත් සමග ෆාතිමාගේ මව තවත් බියට පත්වූවාය.


“මගේ දරුවා සොයා දෙන්න යැයි” විලාප නගමින් ඇය නිවස දෙසට යළි පැමිණියාය. විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ඇයගේ විලාපය ඇසුණු බොහෝ පිරිසක් පාතිමාගේ නිවස අසලට එක්රොක් වූහ. ඉන්පසු එම පිරිසද පාතිමා සෙවීමට පටන් ගත්හ. එහෙත් කිසිවෙකුටත් ඇය ගැන කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූහ. ඒ අතර ෆාතිමාගේ මව බණ්ඩාරගම පොලිසියට ගොස් මේ පිළිබඳව පැමිණිල්ලක් දැමුවාය. තවත් පිරිසක් පාතිමා දැරියගේ පිංතූරයක් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කළහ. පැය කිහිපයකට පසු සමාජ මාධ්‍ය ඔස්සේ පාතිමා දැරිගේ අතුරුදන්වීම පිළිබඳ රටම දැනගත්හ. ඉන් අනතුරුව රටේම ජනතාව ඒ පිළිබඳව කතා කිරීමට පටන් ගත්හ. තවද මෙම පුංචි දැරිවිය සෙවීම සඳහා දහස් ගණනින් පිරිස් අටලුගමට එක් රැස්වූහ. රටේම ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වූ මෙම දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට අමතරව තවත් පොලිස් කණ්ඩායම් තුනක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.


පැමිණිල්ල ලැබුණ විගස ක්‍රියාත්මක වූ බණ්ඩාරගම පොලිසියේ නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පටන් ගත්හ. විවිධ අංශවලින් විමර්ශන සිදුකළ එම නිලධාරීන් එම ප්‍රදේශයේ සී සී ටීවීද පරීක්ෂා කළේය. එහිදී දැරිය මස් මිලදී ගැනීමට පැමිණි කඩය අසල නවතා තිබූ වෑන් රථයක් ගැනද ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වුණි. එම වෑන් රථය පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයිති එකක් වන අතර එදින රාත්‍රියේම පොලිස් නිලධාරීහු එම පුද්ගලයා සොයාගෙන ගොස් කට උත්තරයක් ලබා ගත්හ. එහිදී මේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අනාවරණය විය. එම පුද්ගලයා මස් කඩයට පැමිණ තිබුණේ කුකුල් මස් මිලදී ගැනීම සඳහාය. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ වෑන් රථයේ අංකය පළ කර දැරිය පැහැරගෙන ගොස් ඇත්තේ එම වෑන් රථයේ බව පවසමින් පළවූ අසත්‍යය ප්‍රචාරය නිසා ඔහු මහත් අපහසුතාවට පත්වී තිබුණි. සමහර මිනිසුන් ඔහුට බැන වැදුණා පමණක් නොව පහර දීමට පවා සූදානම් වී තිබුණි. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ එම අසත්‍ය ප්‍රචාරය නිසා එම වෑන් රථයේ රියැදුරු විශාල අපහසුතාවකට පත්විය.


ඔහුගේ සම්බන්ධයක් නොමැති තැන මේ පිළිබඳව පරීක්ෂණ සිදුකර පොලිස් නිලධාරීහු ගමේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා කටඋත්තර ලබාගෙන වෙනම පරීක්ෂණයක් සිදු කළහ. බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ නිගමනය වූයේ මෙම දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පිටතින් කිසිවකු නොපැමිණි බවත් ගමේම පුද්ගලයෙකු මෙයට සම්බන්ධ බවත්ය. එහෙත් එදින රාත්‍රියේ දැරිය ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීම නොහැකි විය.


පසුදින උදාවිය. එදිනද පොලිස් නිලධාරීහු මෙම දැරියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ පරීක්ෂණ පැවැත්වූහ. දහවල් වන විට බණ්ඩාරගම පොලිසිය නිලධාරීන්ගේ නිගමනය වූයේ වගුරු බිම දෙපස පරීක්ෂා කිරීමයි. ගම්වාසීන්ගේ සහයෝගය ඇතිව පොලිස් නිලධාරීන් එම වගුරු බිම දෙපස සෝදිසි කළේය. ඒ සෝදිසි කිරීම සඳහා දැරිය ඝාතනය කළ ෆාරුක් නමැති පාපතරයාද සම්බන්ධ විය. වෙන අයටත් වඩා උනන්දුවෙන් එම පාපතරයා එ පිළිබඳව සොයා බැලුවේය. පස්වරු දෙක වන විට එම දැරිවියගේ මළ සිරුර වගුරු බිමේ තිබී සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.


මළ සිරුර සොයා ගැනීමත් සමගම ප්‍රදේශවාසීන් ද ප්‍රකෝපයට පත් විය. ඔවුන්ගේ හැසිරීමත් සමග එහි තිබූ සාක්ෂි ද විනාශ වී ගොස් තිබුණි. එලෙස සාක්ෂි විනාශ වීමත් සමග සැකකරු පිළිබඳ කිසිදු හෝඩුවාවක් පවා ලබා ගැනීමේ අවස්ථාව පොලිස් නිලධාරීන්ට ගිලිහී තිබුණි. එහෙත් පොලිස් නිලධාරීන් උත්සාහය අතහැරියේ නැත. කෙලෙස හෝ සැකකරු සොයා ගන්නවා යන අධිෂ්ඨානයේ ඔවුන් සිටියේය.


ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පිළිබඳ සොයා බලා ඔවුන් පිළිබඳව පොලිස් නිලධාරීන් අවධානයෙන් සිටියේය. ඒ අනුව බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට ෆාරුක් ගැනද සැක සිතුනි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව පැවසුවේය. එහෙත් පොලිස් නිලධාරීන් උත්සාහය අතහැරියේ නැත. මෙම සිද්ධියට ඔහුගේ කිසියම් හෝ සම්බන්ධයක් ඇති බව පොලිස් නිලධාරීන්ට දැනුණි. එම නිසා ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය. එහිදී පොලිස් නිලධාරීන් පෙරදින ෆාරුක්ගේ හැසිරීම සම්බන්ධයෙන්ද දිගින් දිගටම ප්‍රශ්න කළේය. එම ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔහුගේ බිරිඳ මෙලෙස පැවසුවේය.


“මෙම දැරියගේ අතුරුදන්වීම දැනගත් පසුව අපේ මිනිහ හිටියෙ හරිම කලබලයකින්. වෙනදා එයා ගෙදරට ඇවිත් තමයි නාන්නේ. එදින හවස මෙයා නාල තමයි ගෙදර ආවේ. ඒ ඇවිල්ල කල්පනා කර කර හිටියා. මම ඇහුවා ඒ මොකද කියලා. ඒත් කිසි උත්තරයක් දුන්නෙ නැහැ. නිකන් බයවෙලා වගේ තමයි හිටියෙ. රෑට කෑම කෑවෙත් නැහැ. තව එයා එක දිගට බීඩි විස්සක් විතර බිවුවා. වෙනදට එහෙම බීඩි බොන්නෙත් නැහැ. හැබැයි පහුවෙනිදා පාතිමා දැරිය හොයන එකට මෙයත් උදව් කළා.”


බිරිඳගේ එම ප්‍රකාශයත් සමග පොලිස් නිලධාරීන්ගේ සැකය තවත් තහවුරු විය. මෙම දැරියගේ මරණයට ෆාරුක්ගෙ සම්බන්ධයක් ඇති බව ඔවුන් දැන ගත්තේය. ඒ අනුව නැවත වරක් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීහු ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්හ. එලෙස ප්‍රශ්න කිරීමේදී ඔහුට සත්‍ය වසන් කිරීමට නොහැකි විය. සිදු වූ සියල්ල අකුරක් නෑර එම පාපතරයා පොලිස් නිලධාරීන් හමුවේ පැවසුවේ මෙලෙසින්ය.


“සර් මේ ළමයා අපේ ගෙදරට යනවා එනවා. සෙල්ලම් කරන්න අපේ ගෙදරට යන එන විට මට මේ දරුවා ගැන ආසාවක් ඇති වුණා. ඒ දැන් මාස කිහිපයක ඉදන්. එදා මේ ළමයා කඩේට ආවා කුකුළු මස් ගන්න. මමත් එතකොට කඩේ තමයි හිටියෙ. ඒ වෙනකොටත් මම අයිස් ගහලා හිටියේ. ළමයව දැක්කම මට ලොකු ආශාවක් ඇති වුණා. මම හිතුවා අද තමයි හොඳම දවස කියලා. එහෙම හිතලා මම මුලින්ම කඩෙන් එලියට ඇවිත් වගුරු බිම අසල ළමයා එනකන් බලාගෙන හිටියා.”


“කුකුල් මස් අරන් ළමයා එනවා ඈත තියා මම දුටුවා. ළඟට ආවට පස්සෙ ඇයව උස්සගෙන කිරල ගස් අතරින් අරගෙන ගියා. එතකොට ළමයා කෑ ගැහුවා මාමා… මාමා… මාව අතඅරින්න. මට යන්න දෙන්න කියලා. ඒත් මං ඒවා ගණන් ගත්තේ නැහැ. එයා කෑ ගැහිල්ල නැවැත්තුවේ නැහැ. පස්සේ මගේ කරේ තිබුණ සරම ඉරලා ඒ ළමයගෙ අත් දෙකයි කුකුල් දෙකයි ගැට ගැසුවා. මට බය හිතුණා සර්. මම දරුවා උස්සගෙන ගියේ මගේ ආශාව ඉටු කරගන්න. ඒත් එයා ගෙදර අයට කියයි කියලා බය හිතුණා. ඒ ළමයා මාත් එක්ක පොර බැදුවා. මම කට වැහුවා. ඒ එක්කම එයාට සිහිය නැති වුණා. මම එයාව මඩේ ඔබාගෙන හිටියා.”


“මම ළමයගෙ ඇඳුම්වත් ගැලවේවෙ නෑ සර් ඇත්තමයි. මට ඒ වෙලාවේ බය හිතුණ නිසයි එයාව මඩේ එබුවේ”


අහිංසක මල් කැකුළක් විනාශ කළ ඒ අධමයා දැන් විවිධ දේ කියනු ඇත. නමුත් කුරා කුහුඹුවකුට වරදක් නොකළ කටේ කිරිසුවඳ පවා මුවින් නික්මෙන මේ පුංචි දැරිය මළඋන් අතරට ගොසිනි. මේ කියන සැකකරු ඝාතනයට ලක් වූ ෆාතිමා දැරිවිගේ මවගේ ඥාතියෙකි. ඒ හිත්පිත් නැති පාපතරයා මේ විනාශ කර දමා ඇත්තේ උගේ දියණියගේ වයසේ දැරියෙකි. අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මේ අධමයන්ට දිය යුතුව ඇත්තේ කවර ගණයේ දඬුවමක්ද? දැරිය ඝාතනය කළ සැකකරු එදින දිය නා පිරිසිදු වී පල්ලි ගොස් ඇතැයි ද හෙළි වී ඇත. මෙයට පෙරද මෙම සැකකරු එම ප්‍රදේශයේම නිවසකට වහලෙන් බැස කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීමට ගොස් තිබූ බවද සඳහන් වේ.


පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂ, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පී. වී. ඒ හේමමාලි ඇතුළු නිලධාරීන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද, කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල යන මහත්වරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.


මෙම දැරියගේ ඝාතනයත් සමග අපට තවත් මෙවැනි සිද්ධි කිහිපයක් සිහිවේ. ඒ මතුගම සමන් කුමාර, සදීපා ලක්ෂාන්, යාපනයේ වින්ධ්‍යා, කොටදෙනියාව සේයා සදෙව්මි ආදී දරුවන් ම්ලේච්ඡ ලෙස මරා දැමූ කාලකණ්ණි මතකයන් පිළිබඳවයි. ඒ ඝාතනයට ලක් වූ අහිංසක දරුවන් අතරට එක් වූ අලුත්ම දරු පැටියා මේ පාතිමා ආයිෂා දැරියයි. සමාජයටත් ආදර්ශයක් වන අයුරින් මෙවැනි පාපතරයන්ට ලබාදිය යුත්තේ රජ කාලයේ දඬුවම්ය.


සමාජයේ මෙවැනි පාපතරයන් තවත් බොහෝ සිටිති. එම නිසා කොතරම් වැඩ රාජකාරි තිබුණත් ඔබගේ දරුවා ගැන විමසිලිමත් වන්න. දෙමාපියනි ඔබගේ පළමු, දෙවන පමණක් නොව තුන්වන රාජකාරියත් දරුවන් බව මතක තබා ගන්න. එලෙස නොවුණහොත් හයක් හතරක් නොදන්නා ඔබගේ කිරි සප්පයින්ටත් මෙවැනි අවාසනාවන්ත සිද්ධිවලට මුහුණ දීමට සිදුවිය හැකිය.


ගයාන් සමරසිංහ

Post a Comment (0)
Previous Post Next Post